අ/රඹෑව මධ්‍ය මහා විද්‍යාලයීය ඉතිහාසයෙන් බිඳක්...
වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය මනාව පසක් කරන අතීත රජදරුවන්ගේ නිජබිමව පැවැති අනුරාධපුර රාජධානියේ රඹෑව ග්‍රාමයේ අති රමණීය භූමි භාගයක රඹෑව විදයාලයේ ජන්මය සිදුව ඇත. කෘෂි කර්මාන්තය ජීවිකාව කර ගනිමින් ජීවත් වන ප්‍රදේශ වාසී දරු දැරියන්ගේ සිත් හි ප්‍රඥා ප්‍රදීපය දැල් වීමෙහි ලා අ/රඹෑව මහා විද්‍යාලයේ ආරම්භය සිදුවන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය තුළ ය. එනම් 1905.09.11 වන දිනයේ දීය. අක්කර 4ක පමණ වපසරියකින් යුත් භූමි භාගයක ඉදිවූ මෙම විදුහලේ ආරම්භක නියමුවාණන් ලෙස වැඩ බාර ගනු ලබන්නේ බී. ඩබ්ලිව්. ඩී. බණ්ඩා ගුරුන්නාන්සේ මැතිතුමාය. පිදුරු සෙවිලි කළ එක් ගොඩනැගිල්ලක් පමණකින් සමන්විත වූ මේ දිළිඳු විදු බිමේ ආරම්භක ශිෂ්‍යයා වූයේ ටී. ඒ. අප්පු සිංඤො නැමැති අට හැවිරිදි පිරිමි දරුවා ය. යටත් විජිත යුගයේ දී අනුරාධපුර මහා දිසාව කරවූ ෆලස්කුලමේ දිසාව විසින් ඉහත කි ශිෂයයාගේ නම ලියා ගැනීමත් සමග සිසුන් බඳවා ගැනීම ආරම්භ වූ බව අ/රඹෑව විදුහල් ඉතිහාසයේ සඳහන්ය.
සිසුන් විසි දෙනකුගෙන් ආරම්භ වූ පාසලේ බාලාංශයේ සිට 3 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්විය.පාසලේ විදුහල්පති තුමා විසින් සියලුම පන්ති වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ලද අතර එකල්හි රඹෑව තුලාන භාරව සිටි කැලෑ කෝරලේ මහතාත්, රඹෑව වීදි ආරච්චිල මහතාත් විද්‍යාලයේ අභිවෘද්ධිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කරන ලදී. 1907 වන විට මෙම පාසලටම අනුබද්ධව වඩුකාර්මික පාසලක් ආරම්භ කරමින් ප්‍රදේශයේ ගැමි දරුවන් තුළ වෘත්තීය නැඹුරුතාවයක් ඇති කරවීය. 1939 මැයි මාසයේදී අඩි 60×20 කින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක් ලබාදෙමින් විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් අතර 1939 මැයි 4 වන දින සිට ග්‍රාමීය අධ්‍යාපන පාසලක් බවට පත් විය .
1960 දශකය වන විට භෞතික සම්පත්වලින් පොහොසත් වූ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ද වර්ධනය වී තිබූ අතර පහළ බාලාංශයේ සිට ජේෂ්ඨ පන්තිය දක්වා දරු දැරියන් අධ්‍යාපනය හැදෑරීය. පියවරෙන් පියවර ඉදිරියට ගමන්ගත් විද්‍යාලය 70 දශකය වන විට විද්‍යාගාරය ඇතුළු පහසුකම් රැසකින් සමන්විත විය. සිසුන්ගේ විවිධ ඉගෙනුම් අවශ්‍යතා සපුරා ගැනීමෙහිලා ගෘහ විද්‍යා, කෘෂි විද්‍යා, චිත්‍ර, ශාරීරික අධ්‍යාපනය ආදී පහසුකම් සලසා දෙමින් ප්‍රදේශයේ ජීවන මාර්ගය වූ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය න්‍යායික දැනුම පාසල තුලින් ලබා දුනි.
1939.05.04 දින ග්‍රාමීය පාසලක් ලෙස උසස් වූ රඹෑව විදු මෑණියන් ප්‍රදේශවාසී ජනතාවගේ හා අහිංසක දරු දැරියන් ගේ බලාපොරොත්තු මුදුන්පත් කරමින් 1972 .01.01 දින මහා විද්‍යාලයක් බවට පත් විය .ඒ අනුව අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ගැනීමට දරුවන්ට මග පෑදිණි. එවකට විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළේ කළේ ඩබ්ලිව්. ඩී.ඩබ්ලිව්. ඊතල්වැටුණුවැවේ මහතාය .
වසරින් වසර පාසල දියුණු වෙමින් ඉදිරියට පිය නැගූ අතර සංස්කෘතික, ක්‍රිඩා, අධ්‍යාපන, ආගමික අංශ වලින් සිසු කුසලතා ඔප් නංවමින් ඉදිරියට පිය නැගීය. 1973 වර්ෂයේ සිදු වූ සිදුවීම් අතර විද්‍යාගාරයේ මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම වැදගත් සිදුවීමක් විය. තවද මහකනදරාව ව්‍යාපාරය යටතේ විදුහලට කුඹුරු ඉඩමක් ලැබීම තවත් සුවිශේෂී සිදුවීමකි. රඹෑව විදුහලේ ස්වර්ණමය යුගයක් ලෙස විදුහල්පති එස්. ධනපාල මහතාගේ කාලවකවානුව සඳහන් කළ හැක.
1972.09.05 වන දින විදුහලේ සංස්කෘතික අංශයෙන් හා සිසු දැරියන් ගේ සහජ කුසලතා තුළින් යහපත් ප්‍රතිඵල රාශියක් පෙන්නුම් කරන ලදී. මේ සමග විද්‍යාලයේ සිසු සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර විද්‍යාලයට තූර්ය වාදක කණ්ඩායමක්ද පිහිටුවීමට හැකි විය .
වර්ෂයෙන් වර්ෂය පාසල දියුණුවෙන් දියුණුවට පත් වූ අතර ඒ ඒ යුගවල විදුහල්පතිවරුන් විසින් විද්‍යාලයේ ප්‍රගතිය උදෙසා විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී.විද්‍යාලයට අවශ්‍ය ලී බඩු උපකරණ කාර්යාලීය උපකරණ හා තූර්යවාදය වාදක භාණ්ඩ රැසක් ම ලබා ගැනීමත් සමග පාසලේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමට අමතරව බටහිර තූර්ය වාදක කණ්ඩායමක්ද ස්ථාපිත විය .පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම විවිධ ජයග්‍රහණ පෙන්වමින් දිනෙන් දින ඉදිරියට ගිය අතර එය පාසල් සංවර්ධනාත්මක ලක්ෂණයක් විය .
1994 වර්ෂයේ පාසලේ පැවති ගොඩනැගිලි අතරට දෙමහල් ගොඩනැගිල්ලක් එක්වූ අතර ඊට අමතරව විදු මෑණියන් නිරන්තරයෙන් ආරක්ෂා කිරීම සඳහා ස්ථිර වැටක් සකස් කිරීම සුවිශේෂී සිදුවීමක් විය .1998 වර්ෂයේ විදුහල්පති ධූරය දරන ලද්දේ එස්. ජයවර්ධන මහතාය .මෙම යුගය ද විද්‍යාලයේ තවත් ස්වර්ණමය යුගයක් ලෙස සඳහන් කළ හැක.
රජයේ විභාග සඳහා සිසුන් ඉදිරිපත් කරමින් ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කළ පාසල, අධ්‍යාපනය, විනය, සංස්කෘතික ආදී අංග වලින් ඉදිරියට ගමන් කළේය.එම කාල වකවානුව තුළ සරසවි වරම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව හා උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් පාසලට ලබා දුන්නේ ඉමහත් කීර්තිය කි.
විද්‍යාලයේ මානව හා භෞතික සම්පත් වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් මෙම කාලවකවානුව තුළ දක්නට ලැබූ අතර විද්‍යාලයේ කීර්තිය පැතිර යාමත් සමඟ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය විය .යුගයෙන් යුගය දියුණුව කරා පිය නැඟූ රඹෑව මහා විද්‍යාලයේ සෞභාග්‍යමත් ම යුගය උදා වූයේ 2010 න් පසු දශකයේ ය .පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ මහින්දෝදය විද්‍යාගාර පහසුකම් සහිතව තාක්ෂණ විෂය ඇතුළු අනෙකුත් විෂයන් රාශියක් විධිමත්ව අධ්‍යාපනය හැදෑරිය හැකි පරිදි සියලු පහසුකම් වලින් අනූන වටපිටාවක් සකස් වුණි. පරිගණක අධ්‍යාපනය සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරමින් ඊට අදාළ සියලුම භෞතික හා මානව සම්පත් මේ කාල වකවානුව තුල පාසලට හිමි වූ අතර සිසු තාක්ෂණික ඥානය ඔප් නැංවීමට හැකි වඩාත් උචිත තෝතැන්නක් නිර්මාණය වුණි .
එම අධ්‍යාපනික පහසුකම් වලට අමතරව සිසුන්ගේ සෞඛ්‍ය සංවර්ධනය කරමින් විධිමත් ජලනල පද්ධතියක් හා ජල පවිත්‍ර කිරීමේ යන්ත්‍ර කිහිපයක් පාසලට ලබාදුන් අතර එහි ජල පහසුකම් ප්‍රදේශවාසීන් ද භුක්ති විදිනු ලැබේ. පහසුකම් වර්ධනය වීමත් සමග පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මෙන්ම විශේෂ පුහුණු ගුරු භවතුන් සංඛ්‍යාව ද ඉහළ යන ලදී .
පාසැල් ඉතිහාසයේ සුවිශේෂී සටහනක් තබමින් 2014.04.03 දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්‍ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පවරන ලදී .මේ සමඟම අපොස උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව පාසල තුළ තුළ ආරම්භ විණි.විෂය සමගාමී ක්‍රියාකාරකම් මගින් පෙරට ගිය අප පාසලේ සිසුන් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබමින් විද්‍යාලයට ගෞරවයක් ලබා දෙන ලදි.සමස්ත ලංකා එල්ලේ අනු ශූරතාවය ලැබිම, විද්‍යාලයීය නර්තන කණ්ඩායම සමස්ත ලංකා ජයග්‍රහණ ලැබිම විදුමව ප්‍රදේශය තුළ මෙන්ම පළාත තුළ ද බැබළවීමට සමත් ජයග්‍රහනවලින් කිහිපයකි .
එදා මෙදා තුර විදුමවගේ කීර්තිය ඔප්නැංවීම උදෙසා විදුහල්පතිවරුන් විසි දෙනකුගේ සේවය ලබා දී ඇත .ඉන් අනතුරුව වත්මන් විදුහල්පතිවරයා ලෙස සේවයට පැමිණෙන්නේ ඩී.ටී.නන්දසේන මහතා ය.මෙතුමාගේ ආගමනය පාසලේ තවත් එක් සන්ධිස්ථානයකි. පාසලේ විෂය සාධන මට්ටම් කැපී පෙනෙන අයුරින් ඉහළ ගියේය. විෂය සමගාමී ක්‍රියාකාරකම් වල ද සුවිශේෂී ජයග්‍රහණ උදාකරගත් යුගයකි. ඒ සඳහා 2018 වර්ෂයේ අපොස උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය අප පාසලට හිමි විම සාක්ෂි දරයි.
ක්‍රීඩා ජයග්‍රහණ අතර 2019 වර්ෂයේ දී විද්‍යාලයේ එල්ලේ කණ්ඩායම සමස්ත ලංකා අනුශුරතාවය දිනීම සුවිශේෂි ජයග්‍රහණයකි.තවද නර්තන අංශයෙන් ද සමස්ත ලංකා ජයග්‍රහණ විද්‍යාලයට හිමිවිය .උතුරු මැද පළාත් තොරතුරු තාක්ෂණ විද්‍යාගාර අතරින් හොඳම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය බවට පත් විම තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.
2021 වර්ෂය රඹෑව විදුහල් මාතාවට සුවිශේෂී වසරකි. “රට හදන සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්තියේ පාසල් අධ්‍යාපනයේ නවෝදය ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා තෝරාගත් පාසල් 1000ක් ජාතික පාසල් බවට උසස් කිරීමේ වැඩසටහන යටතේ අ/රඹෑව මහා විද්‍යාලය ද ජාතික පාසලක් බවට පත් වීම ප්‍රදේශයේ දරුදැරියන්ගේ මහඟු භාග්‍යයකි.
2020 – 2022 කාලසීමාව තුල පැවති COVID අර්බුදය හා ආර්ථික උද්ධමනය නිසා පාසල් වසා තැබුන ද 2022 වසරේ අගභාගයේදී පාසල් දෙවන විවෘත වීමත් සමග රඹෑව ම.ම විදුහලේ දරුදැරියන් සිය සුපුරුදු දක්ෂතාවයෙන් කෙලි බිම හා වේදිකාව ඔප් නැන්වීමට සමත් වූහ.
2022 සමස්ත ලංකා මලල ක්‍රීඩා තරඟාවලියේ 80m කඩුළු පැනීම ඉසව්වෙන් තුන් වන ස්ථානය ලබා ගැනීමටත් සමස්ථ ලංකා පාසල් නර්තන තරඟාවලියෙහි ඒකල පිරිමි චරිත නිරූපනයෙන් දෙවන ස්ථානය හිමි කර ගැනීමත් සුවිශේෂී ජයග්‍රහන වේ.
ශ්‍රී ලාංකීය සියලු දරුවාට ගුණාත්මක සම සාධාරණ අධ්‍යාපන අවස්ථා තුළින් දැනුම කේන්ද්‍රය ආර්ථිකයක් මත පදනම් වන සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම උදෙසා පොකුරු පාසල් ක්‍රමවේදය යටතේ අංග සම්පූර්ණ ගුණාත්මක බවින් පරිපූර්ණ පාසලක් බිහි කිරීමේ අරමුණු පෙරදැරි කර ගනිමින් කටයුතු කිරීම අප පාසලේ විදුහල්පති හා ගුරුභවතුන්ගේ ප්‍රධාන පරමාර්ථයන්ය. මේ තුළින් ප්‍රදේශයේ දරුවන්ගේ අහිංසක බලාපොරොත්තු ද,පාසල් ප්‍රජාව පාසල තුළින් අපේක්ෂා කරන සියලු අරමුණු ඉටු කිරීම අ/ රඹෑව මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ අපේක්ෂාව වේ.
ආරම්භ කළ වර්ෂය |
1905.09.11 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
මුල් ගුරුතුමාගේ නම |
බී. ඩබ්ලිව්. ඩී. බණ්ඩා ගුරුන්නාන්සේ මැතිතුමා |
පාසලේ ආදි කතෘගේ නම |
බී. ඩබ්ලිව්. ඩී. බණ්ඩා ගුරුන්නාන්සේ මැතිතුමා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
රඹෑව විදුහල |
පාසල භාරව කටයුතු කිරීම |
බී. ඩබ්ලිව්. ඩී. බණ්ඩා ගුරුන්නාන්සේ මැතිතුමා |
පාසල රජයට පවරාගත් දිනය |
1939 මැයි 4 |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ටී. ඒ. අප්පු සිංඤො |
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1905.09.11 |